SPHERE Sphere Research and Advocacy
← Back to Blog

අතුරුදහන්වූවන්ගේ පවුල් එකමුතුවේ වාර්ශික සැමරුම - 2025 ඔක්තෝබර් 27

පසුගිය ඔක්තෝබර් 27 සඳුදා දින අතුරුදන්වූවන්ගේ පවුල් එකමුතුව වාර්ශිකව පවත්වන අනුස්මරණ වැඩසටහන සීදුව, රද්දොලුව හන්දියේ අතුරුදන්වූවන්ගේ ස්මාරකය අසල පැවැත්විනි.

අතුරුදහන්වූවන්ගේ පවුල් එකමුතුවේ වාර්ශික සැමරුම - 2025 ඔක්තෝබර් 27

පසුගිය ඔක්තෝබර් 27 සඳුදා දින අතුරුදන්වූවන්ගේ පවුල් එකමුතුව වාර්ශිකව පවත්වන අනුස්මරණ වැඩසටහන සීදුව, රද්දොලුව හන්දියේ අතුරුදන්වූවන්ගේ ස්මාරකය අසල පැවැත්විනි. මෙම සැමරුම වාර්ශිකව පවත්වන 35 වන වසර මෙයයි. ප්‍රධාන ආරාධිතයා වශයෙන් මානව හිමිකම් කොමිසමේ හිටපු සභාපතිනිය වශයෙන් කටයුතු කළ දීපිකා උඩුගම මහත්මිය සම්බන්ධ විය. එමෙන්ම මහාචාර්ය අර්චුනා පරාක්‍රමද මෙම අනුස්මරණයට එක්වී සිටියා. අනුස්මරණ සැමරුම් උත්සවය අමතමින් දිවයිනේ උතුරු දකුණු සෑම දිසාවක්ම නියෝජනය කරමින් වින්දිත පවුල් සාමාජිකයින් තම අත්දැකීම් බෙදාගන්නට යෙදුනා. මෙම අනුස්මරණයට සහභාගී වූ අයගෙන් බහුතරයක් 88-89 භීෂණ කාලවකවානුවේ අතුරුදහන්වූවන්ගේ සිංහල පවුල්වල ඥාතීන් බවටයි පෙනෙන්නට තිබුනේ. එමෙන්ම සැලකිය යුතු මට්ටමක විදෙස් රාජ්‍ය ආයතනවල නිලධාරීන් පිරිසක් පැමිණ සිටි බවද පෙනෙන්නට තිබුනා.

අනුස්මරණ සැමරුමෙන් අනතුරුව කොළඹ පිහිටි අධිකරණ අමාත්‍යාංශයට අතුරුදහන් වූවන්ගේ පවුල් එකමුතුව විසින් ඔවුන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කරමින් ලිපියක් භාර දීමද සිදුකරනු ලැබුවා. ඉන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලය වෙතටද ගිය මෙම පිරිස ජනාධිපති ලේකම් කාර්යාලය නියෝජනය කරමින් පැමිණි නිලධාරියාටද තම ඉල්ලීම් ඇතුලත් ලිපියක් භාර දීමට කටයුතු කරනු ලැබුවා. පැමිණි ජනතාව වෙත සුහදශීලී අයුරින් මුහුණ දුන් නිලධාරියා පවසා සිටියේ ඔවුන්ගේ ඉල්ලීම් වෙනුවෙන් ඉදිරි පියවරයන් ගැනීමට බලාපොරොත්තු වන බවයි. එවිට එහි පැමිණි ජනතාව පිළිතූරු දෙමින් ඔහුට පවසා සිටියේ ඉදිරි පියවරයන් ගැනීමේදී මෙම වින්දිත ජනතාවද දැනුවත් කර එම ඉදිරි පියවරයන් ගන්නා නිශ්චිත කාලරාමු ගැනද ඔවුන්ව දැනුවත් කරන ලෙසයි. එදින කළ ලෙසම මීට පෙරද අදාල නිලධාරීන් හොඳ මූණ පෙන්වා ගියද කිසිඳු ක්‍රියාමාර්ගයක් ගැනීමට ඔවුන් කටයුතු නොකිරීමෙන් තමන් මෙතෙක් කල් රැවටීමට ලක්ව ඇති බවද එම ජනතාව පැවසුවා. නැවත තමන් පැමිණෙන විට කිසිවක් ක්‍රියාවට යෙදවී නොමැතිනම් මෙතැන සිට නොනවතින අඛණ්ඩ අරගලයක් මෙහි ආරම්භ කරන බව එම වින්දිත ජනතාව සඳහන් කර සිටියා.

අතුරුදහන් වූවන්ගේ පවුල් වලට ලබාදීමට රජය 2025 අයවැයෙන් වෙන්කල රුපියල් මිලියන 1000ක මුදල අතුරුදන්වූවෙකුගේ පවුලකට රු.200,000 ගණනේ දීමට නියමිතව තිබූ නමුත් මෙතෙක් ඒවා ලබාදීමට කටයුතු නොකර තිබීම වත්මන් රජයට දෝශාරෝපණ එල්ල කිරීමට මෙහිදී හේතු වුනා. අතුරුදන් වූවන්ගේ පවුල් එකමුතුව වත්මන් ජනපති අනුර කුමාර සමග ඔවුන් මුහුණ දෙන ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීමට දිනයක් ඉල්ලා සිටියද, සාකච්ඡාවකට එකට වාඩිවීම පවා වත්මන් ජනපති මගහැර තිබීම අනුස්මරණය පුරාම ඉස්මතු වුණා.

ප්‍රධාන ආරාධිතයා වශයෙන් එහි පැමිණි මානව හිමිකම් කොමිසමේ හිටපු සභාපතිනි දීපිකා උඩුගම මහත්මිය සඳහන් කර සිටියේ කිසියම් පුද්ගලයෙකු අතුරුදහන් කිරීම මානව හිමිකම් කඩකිරීමක් වන බවයි. එම අතුරුදහන් වීමට ලක්වන පුද්ගලයා වැරැද්දක් කල අයෙකු විය හැකිමුත් නීතියෙන් යුක්තිය පසිඳලීම වෙනුවට අතුරුදහන් කිරීම කිසි ලෙසකින් පිළිගත නොහැකි බවයි ඇය පැවසුවේ. අතුරුදහන් වූවන්ගේ පවුල් වලට යුක්තිය පසිඳලීමට අසමත් වීම ජාතික ප්‍රශ්නයක් බවත් ඊට පිළිතුරු සෙවීමට ජාතික ප්‍රතිපත්තියක් වුවමනා බවත් ඇය සඳහන් කළා. එම පවුල්වලට රු.200,000ක බැගින් ලබාදීමට නියමිතව ඇති වන්දි මුදල වෙනුවෙන් මෙම වින්දිත පවුල් මෙපමණ පීඩාවන්ට පත්නොකළ යුතු බවත්, එම වන්දි මුදල් ගෞරවයකින් යුතුව මෙම වින්දිත පවුල් වලට ලබාදිය යුතු වූවද, මෙම පවුල් මෙතෙක් කල් තම ආදරණීයන් අතුරුදන් වීමෙන් පත්වූ පීඩාව රු.200,000ක වන්දි මුදලකට ලඝු නොකළ යුතු බවද ඇය සඳහන් කළා.

එමෙන්ම අනුස්මරණ සැමරුමේදී තම අදහස් දක්වමින් අතුරුදහන් වූවන්ගේ පවුල් එකමුතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා කියා සිටියේ වත්මන් NPP රජය, ඡන්ද සමයේ හා ඊට පෙරදී පවා අතුරුදන් වූවන්ට යුක්තිය ලබා ගැනීමට ඉදිරිපත් වූවද දැන් එම ජනතාවම හිතාමතා මගහැර සිටින බවයි. එකල අතුරුදහන් වූවන් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීමට බලය තමන් සතුව නොමැති බව පැවසුවද මේ වනවිට ඔවුනතට බලය ලැබී ඇති මොහොතේත් මේ අතුරුදහන් වූවන්ගේ පවුල් මග හරිමින් සිටින බවයි ඔහු තවදුරටත් පවසා සිටියේ. වත්මන් ජනපති අනුර කුමාර එකල භීෂණ සමයේ අතුරුදන් වීම්වලින් තමා පවා බේරුනේ දශමෙන් බැවින් මේ ජනතාවගේ දුක හොඳින් තේරෙන බව පැවසුවද, ජනපති ධූරයට පත්වූ පසු අතුරුදන් වූවන්ගේ පවුල්වල පිරිස් හමුවී කතා කිරීම පවා මග හරින බවයි ඔහු ප්‍රකාශ කලේ.

1991 වසරේදී මුල් වරට අතුරුදන්වූවන් වෙනුවෙන් 16 දෙනෙකු එක්වෙමින් මෙම රද්දොලුව මංසන්ධියෙදීම කරන්නට යෙදුනු අනුස්මරණ සැමරුමද බ්‍රිටෝ මහතා සිහිපත් කළා. එකළ පොලීසිය තමා ඇතුළු පිරිසට වෙඩි තබන බවට කියමින් තර්ජනයට ලක්කලද 1995 චන්ද්‍රිකා ආණ්ඩුව සමයේ පොලීසිය ඔවුන්ට පොලීසියෙන් ලැබිය යුතු සහය කුමක්දැයි අසන්නට වුනු බව සඳහන් කළා. එසේම මේ වසරේදීද පොලීසිය සැමරුමට සහය වීමට කටයුතු කළ බවයි ඔහු පැවසුවේ. පසුගිය වසරක කාලය පුරාම අතුරුදහන් වූවන් වෙනුවෙන් පැවැත්වූ වැඩසටහන් කිහිපයකට සේම මෙම වාර්ශික අනුස්මරණයටද ජනපති අනුර කුමාර සහෝදරයට ආරාධනා කලද ඊට සහභාගී නොවීම තමාව කනස්සල්ලට පත්කළ බවද ඔහු පවසා සිටියා. මෙම වින්දිත පිරිස් වෙත යුක්තිය ඉටුකිරීමට මහජන මතයක් ගොඩ නැගීමට අවශ්‍ය බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Image 5

Related Posts